රාවණ රජු දක්වා දිගු යටගියාවකට හිමිකම් කියන සබරගමු නර්තන සම්ප්‍රදාය වූ කලී සබරගමුව නමින් හඳුන්වන ප්‍රදේශයේ පවතින නර්තන සම්ප්‍රදායයි.රත්නපුර, කුරුවිට, කලවාන, පැල්මඩුල්ල, බෙල්ලන්බැඳිපැලැස්ස, බලංගොඩ, කහවත්ත ආදී වූ ප්‍රදේශයන්හි සබරගමු නැටුම් බහුලව දක්නට ලැබේ. අද වන විට සබරගමු ප්‍රදේශය මූලික කරගෙන වැඩි වශයෙන් පැවතුණද ලංකාවේ පැරණිම සිංහල නර්තන කලා ශිල්පය සබරගමු නර්තන කලාව බව විද්වත් මතයයි.
සබරගමු නර්තන සම්ප්‍රදාය ස්වාදීන අමිශ්‍ර නර්තන සම්ප්‍රදායයකි.එහෙයින් සබරගමු නර්තන සම්ප්‍රදායේ දේශීය ලක්ෂණ රැසක් දක්නට ලැබේ.සබරගමු නර්තනයේ යෙදෙන සෑම නැට්ටුවෙකුම තම නර්තනය සඳහා පුදගලයෙකු පෙරටු කර නොගෙන ඒ වෙනුවට තුනුරුවන් හා දෙවියන් පෙරටු කර ගනී. සබරගමු නර්තනය පුහුණුවන්නෙකු මුලින්ම කළ යුත්තේ හරඹ 36 ප්‍රගුණ කිරීමයි. එය නිම වු පසු පුහුණුවන්නාව ගායනය, වාදනය සහ නර්තනය සඳහා යොමු කරවීම සිදු වේ.
පත්තිනි දේවියගේ සැමියා වූ පාලඟ කුමරු මරණයට පත් කරනලද්දේ මදුරාපුරයේ පඬි රජුය.ඊට පළිගැනීම් වශයෙන් පත්තිනි දේවිය තම පියයුරද කඩා පොළොවෙහි ගසා සත්‍යක්‍රියා කොට ඇගේ කෝපාග්නියෙන් මුලු මදුරාපුරයම ගිනිබත් කළාය.පඬි රජුවද මරණයට පත් කළාය.පසුව මල් වැසි වස්සවා කිරි උතුරවා ඇය මදුරාපුරයට සශ්‍රීකත්වය උදා කර දුන්නාය.එම සිදුවීම සිහිකරමින් වර්තමානයේදී පත්තිනි දේවිය මූලික පරිවාර දේවතාවන්ගේ පිහිට ආශිර්වාද පතා පහන් මඩු ශාන්තිකර්මය සිදු කරනු ලැබේ.
සබරගමු නර්තන සම්ප්‍රදායේ වන්නම් 18 කි. ඒවායේ රචකයා අවිනිශ්චිතය. විනෝදාස්වාදය අරමුණූ කොට ගෙන රචනා වූ බව පැවසිය හැකිය. උඩරට වන්නම් හා සමාන කමක් දක්වන වන්නම් නාම තිබුණද සබරගමු වන්නම් උඩරට වන්නම් වලින් වෙනස් වේ.සබරගමු වන්නම් බෙරපදය, තානම, කවිය, කලාසම, අඩව්ව යන කොටස් පහෙන් සමන්විතය.
No comments:
Post a Comment